Followers

Sunday, November 24, 2013

දැන් ලඟයි අවසාන දුම් රිය..

මලක් නොපිපුනු ..රළු පොළොව මත..
අළුත් වැස්සක් වැටෙන මොහොතක
වසත් කල එළැඹිනැයි සිත සිත
අපිත් තෙමුනා...සොඳුර මතකද....

තෙමී සියොලඟ වෙලාගෙන අප
දෙතොලඟින් උණුසුම සොයා සිප
මිදී නොගිහින් වෙලී උන් හැටි
අතීතයටම සින්න වේවිද..

අවපසත් පුරපසත් නොමවුනු
නමක් නැති අඩ සඳක් දිලිසුනු
සිහින විතරක් ගුලිව තෙරපුනු
රාත්‍රියවල් කොතෙක් ගෙවුනිද..

කොතෙක් තිබුනත් මතක ආ ගිය
එකම තැන..හදවතයි නොම ගිය
දැස ඔසවා බලනු සොඳුරිය..
දැන් ලඟයි අවසාන දුම් රිය..

..තරංගනී..

මම නම් දැක්කෙ නෑ

කඩුපුල් පිපෙන මහ රෑ...
සළු පිලි ලෙහුනු යහනේ
ඇතිරිලි තෙමී තිබුනා..
කඳුළුද දහදියද...දිලුනේ..
සඳ නම් දැක්කෙ නෑ..
සඳ පායලා තිබුනද...?
මම නම් දැක්කෙ නෑ..

මුදු සුසිනිදු කමක් නැති
රළු දෙතොලකට පොඩිවුන
මහනෙල් පෙති තරම්
සීතල සිනිඳු කම්මුල්.
රතුපාට උන තරම්..
සඳ නම් දැක්කෙ නෑ..
සඳ පායලා තිබුනද..?
මම නම් දැක්කෙ නෑ

අළුයම ප්‍රථම රැස් වළල්ලට
කලියෙන් ගෙදර යන්නට..
යහනෙන් බැසගන්න විදි දස දුකක්
වළාකුලු අතර සැඟවුන..
සඳ නම් දැක්කෙ නෑ
සඳ ඇවිත් තිබුනද..
මම නම් දැක්කෙ නෑ

..තරංගනී..

කවුරුත් මාව ඇහුවද?

රන්කොත් වෙහෙර යට..
සැනසුම දුන්න හෙවනට
එකම එක දවසක්...
ඇවිදින් යන්න එනවද..?

ඇහි පිල්ලමක් යට
හොරකම් කරපු හීනෙක
ඔය කම්මුලක පාටම
බිළිඳෙක් හිටිය මතකද?

තද කරගන්න පපුවට
හීන මැව් මගෙ කලලය
අන් සොඳුරියක් බිහිකොට
මට හිමි දුකද එතකොට..?

මගෙ අත අරන් තාලෙට
ඇවිදන් ගියපු පාරෙම
තුන්පත් රෑන යනවිට
කවුරුත් මාව ඇහුවද?

නොකල්හිම නිල් කොණ්ඩෙට
නරකෙස් මතුව ආවට
තවත් තරුණයි මගෙ හිත
සුවෙන් නුඹ හුන්..මතකද..?

මහත් සිටු මාළිග වට පිට
තියෙත්දිද්..විසිතුරෙන් එළිවුන
පෙරත් කල මහා පව් කරුමෙට
අකල් වැස්සත් වැටුනෙ මගෙ මැටි ගෙට..

..තරංගනී...

රාත්‍රියද තුසිතය මැවුනූ..

අර ඉස්සර දවසක අපි දෙන්නාටම..
එකම වෙලාවක හිනාවුනූ..
දුර වලාකුලක පැටලී හැම තිස්සෙම
රහස් කතාකර මුවාවුනූ
අපි කතා නැතුව ඉන්නා එක දවසට
අකාල මහ වැස්සට තෙමුනූ
මේ ඉස්සර සඳමද..අහසට අයිතිව
සදාකාළිකව මගෙ නොවුනූ

පුර පෝය දාක හඳ දිහා බලාගෙන
දහස් පැතුම් ඇත හිත මැවුනූ
නුඹ උරේ තෙමී ඇති කඳුළු වැලක ඇති
බලාපොරොත්තුව ඉටුනොවුනූ
කළුවරේ තියා පය හෙමින් ඇවිද ගිය
ප්‍රාර්ථනා මාවත මැකුනූ
මේ එදා තුරුළු වී රසෝඝයට ගිය
රාත්‍රියද තුසිතය මැවුනූ..

හද කුසේ පිළිස"ගෙන,වැඩී දිනෙන් දින
දයාබරව පෙති විහිදවුනූ
සෙනෙහසේ ප්‍රථම මල පිපී පරව ගිය
අනාථ අරුමය මට කියනූ
නෙතුවිලේ සැඟවගෙන එදා මෙදා තුර
සදා සෙනෙහසින් ගල් ගැහුනූ
මේ එදා ගැලූ කඳුළුමද කියනු මැන
කොපුල් තෙමාගෙන ඇද හැලුනූ..

ඇසපියා ගැනුනු කෙටි නිමේෂයක දුටු
උදාර සිහිනය නෙත මැවුනූ
අතහැරී ගියපු කල හඬා නොමැත පල
හදාගනිමු හිත බිමදැමුනූ
ඉකිගසා වැලඳ හිස ළැමේ හොවාගෙන
අනන්තයට සිහිනෙන් දුවපූ
මේ එදා නුඹද, මගෙ සුසුම් පොදකටත්
මටත් වඩා සෙනෙහස පාපු

..තරංගනී..

Sunday, November 17, 2013

ආදරය කොහෙද ..? මට හිතෙනවා..

රෑ නින්ද හොරු අරන් දුවනකොට
වෑකන්ද උඩින් සඳ එබෙනවා.
මේ නින්ද මට අයිති නැති කල
රාත්‍රිය මගෙද ..? සඳ අහනවා..

වසන්තය අරන් නුඹ එනකොට
මට පිපී හිනැහෙන්න හිතෙනවා
මල් උයන අනුන් සතු වූ කල
කටු ගසක පැටලුනිද? රිදෙනවා

මේ'කුලක් නිදහසේ හඬනකොට
අපි තෙමුන හැටි මතක මැවෙනවා
අවසාන හැන්දෑව ගතකල
සීතලට තාම හිරිවැටෙනවා

තුන් හිතම නුඹ ලියාගත්තට
තව ටිකක් පපුවෙ පණ තියනවා
ජීවිතය නුඹ අරන් ගිය කල
ආදරය කොහෙද ..? මට හිතෙනවා..

..තරංගනී..

Monday, November 11, 2013

සිනාසෙන සඳට අපි දුර නැති

සියොළඟම ආදරෙන් එති එති
මේ සුළන් තාල හමනා හැටි
පාළු අහසක වළාකුළු නැති
සිනාසෙන සඳට අපි දුර නැති

මේ සඳම පෙරදාක දැක ඇති
මේ අහස යටම හමුවුන හැටි
මේ දෑත මතම මිරිකුනු නිති
ඔය දෑත තාම හඬනව ඇති

රෑ ගණන් ගෙවී ගිය නිදි නැති
ඒ තරම් දිග රැයක් තව නැති
පැය ගණන් පපුව වද දුන් හැටි
මම තරම් නුඹ වින්දෙ නැතුවැති 

උනා සළුපිලි කඳුලු තෙත ඇති
හිනා අහුරම ඔබට හිමි ඇති
වළාකුලු යහනෙ සැතපෙනු නිති
අනේ ඔබ තුටින් නම් මට ඇති..

..තරංගනී..

නුඹට අපමණ බැඳුනු

නුඹට අපමණ බැඳුනු
මටම ඇදහිය නොවුනු
මගෙත් ආදර පහන නොනිවී
තවත් දැල්වී දිලෙනවා

අතින්වත් නොම වෙලුනූ
හිතින් විතරක් බැඳුනූ
එකදිනක් හෝ නොදැක ඉදිවුනු
අපේ ආදර මාළිගාවේ..
තවම නටඹුන් තියෙනවා..

මටද අමතක නොවුනු
හිත යටම වළදමුනූ
අතීතෙක රස මතක සිහිවී
තවම ඇස්දෙක තෙමෙනවා

මේ අහස යට තැනක
නුබේ පියවර ගැටෙන
තැනෙක සදහට නිසල වෙන්නට
මම දහස්වර පතනවා..

..තරංගනී..